වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත



හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි.
මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය.
මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය.
වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය.
මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන් මැඬපැවැත්වීම සඳහා බැක්ටීරියාවන් මැඬලීමට දෙන ප්‍රතිජීවක (Antibiotic) ඖෂධ දෙන්නේ නම් හෝ බැක්ටීරියා විෂබිජය මැඬලීම සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයන් අනිසි ලෙස රෝගීන් භාවිත කරන්නේ නම් හෝ ප්‍රතිජීවක ඖෂධයන්ට ඔරොත්තු නොදෙන ප්‍රතිරෝධයක් ශරීරය තුළ ගොඩනැගීම නිතැතින්ම සිදු වන්නේය. මේ බරපතළ තත්ත්වය හේතුවෙන් බැක්ටීරියාවන් මර්දනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වීම තුළ සියලුම සැත්කම් හා අවයව බද්ධ කිරීම් නතර කිරිමට සිදු වීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි.
ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය ගැන ජයවර්ධනපුර රෝහ‍ලේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුසලානි ජයතිලක මහත්මිය සඳහන් කළේ මෙවන් අදහසකි.
ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමෙන් ශරීරය තුළ ප්‍රතිරෝධීතාවක් ඇති වෙනවා. මේ ප්‍රතිරෝධීතාව හේතුවෙන් බැක්ටීරියා ආසාදනයට ප්‍රතිජීවක ඖෂධ දුන්නත් එයින් නියම ප්‍රතිඵල ලබාගන්න බැරිවෙනවා. ඒ කියන්නේ බැක්ටීරියාව විනාශ කරන්න බැරිවෙනවා. බැක්ටීරියා විවිධ එන්සයිම සාදාගෙන ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ගොඩනගා ගන්නවා.
ඒත් එක්කම බැක්ටීරියාවේ පිටත බිත්තිය ඝන කරමින් ප්‍රතිජීවක ඖෂධයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙනවා. මේ නිසා බැක්ටීරියාව විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා.
එසේම බැක්ටීරියාවට ඇතුළු වන ප්‍රතිජීවක ඖෂධය නැවත පිටතට තල්ලු කිරීමට බැක්ටීරියාව උත්සාහ කරනවා.
ප්‍රතිජීවී ඖෂධයන්ට බැක්ටීරියාව ප්‍රතිරෝධීතාවක් ඇති වීමත් සමග තනි ෙසෙලයේ බැක්ටීරියාවන් තම වර්ගයා බෝකර ගැනීම වේගවත් කරනවා.
එසේම බැක්ටීරියාවන්ගෙන් සමහර බැක්ටීරියාවන් තම ජානයන් වෙනස් කිරීමක් කරනවා. මෙසේ ජාන වෙනස් කළ බැක්ටීරියාවන් කිසිදු ප්‍රතිජීවක
ඖෂධයන් (Antibiotic) සඳහා ඔරොත්තු නොදී තම වර්ගයා වේගයෙන් වර්ධනය කර ගන්නා අතර විවිධ ආසාදනයන් ඇති කරවනවා.Doctor
මෙවැනි තත්ත්වය මත සැත්කමක් හෝ අවයව බද්ධ කිරිමකදී එසේත් නොමැති නම් බැක්ටීරියා ආසාදනයකදී ලබාදෙන ප්‍රතිජීවක ඖෂධයන්ට එම බැක්ටීරියාවන් විනාශ කළ නොහැකි නම් එසේත් නොමැති නම් එම ප්‍රතිරෝධීතාවක් ගොඩනගාගෙන ඇත්නම් එම බැක්ටීරියාවන් විනාශ කළ නොහැකියි. මෙම තත්ත්වය ඉතා බරපතළ වෙනවා. මේ වන විට ලෝකය පුරාම මේ අවදානම් තත්ත්වය මතුවෙලා තිබෙනවා. මේ හේතුවෙන් අනාගතයේදී සියලුම සැත්කම් හා අවයව බද්ධ කිරීම් අපට නතර කරන්න සිදුවෙනවා. මොකද සැත්කමකදී හෝ බද්ධ කිරීමකදී බැක්ටීරියාවන් ආසාදනය වීම නිතැතින්ම සිදුවෙනවා. එම බැක්ටීරියාවන් විනාශ කර රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතුයි. එහෙත් ප්‍රතිජීවක ඖෂධවලට බැක්ටීරියාවන් මේ වන විට ප්‍රතිරෝධීතාවක් ගොඩනගාගෙන තිබෙනවා නම් එයින් පලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට නුදුරු අනාගතයේදී සියලුම සැත්කම් හා බද්ධකිරීම් නතර කරන්න සිදුවේවී.
මේ අවදානම් තත්ත්වය මගහරවා ගැනීමට තවමත් අප ප්‍රමාද නොවේ. ඒ සඳහා වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ද දැනුවත් වීම අනිවාර්ය වන්නේය.
අප යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නේ නම් වෛද්‍යවරයා විසින් අපට ලබා දෙන ඖෂධ පිළිබඳව අප දැනුවත් වීම අනිවාර්ය වන්නේය. එසේ ලබා දෙන ඖෂධයන් අතර ප්‍රතිජීවක ඖෂධ වෛද්‍යවරයා අපට නියම කර ඇද්ද යන්න පිළිබඳව වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීම රෝගියා සතු වගකීමක් වෙනවා සේම ඒ පිළිබඳව රෝගියාව දැනුවත් කිරිම වෛද්‍යවරයාගේ යුතුකමකි.
එසේ ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයන් නිසි මාත්‍රාවෙන් රෝගියාට ලබා දීම වැදගත් වන්නේය.
නිසි මාත්‍රාවෙන් ලබා දෙන ඖෂධයන් නිසි වෙලාවට ගැනීම ද රෝගියා සතු වගකීමකි.
වෛද්‍ය අනුමැතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම රෝගියා විසින් කිසි විටෙකත් නොකළ යුතු දෙයකි.
එක් රෝගියෙකුට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයන් ඔහු හිතුමතේට වෙනක් රෝගියෙකුට ලබා නොදිය යුතු වන්නේය.
මේ අවාසනාවන්ත තත්ත්වය මගහරවා නොගතහොත් වසර 2050 වන විට මිලියන 10ක් දෙනා බැක්ටීරියාවන්ගේ ප්‍රතිරෝධීතාව හේතුවෙන් මරණයට පත් වන බව එය පිළිකාවෙන් මරණයට පත්වෙන රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි යැයිද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේය.
විශේෂයෙන්ම මේ අවාසනාවන්ත තත්ත්වය වැඩි වශයෙන්ම ආසියාතික රටවල්වලට බලපෑම් ඇති කරවන තත්ත්වයක් වී තිබේ. යුරෝපා රටවල ජීවත් වන මිනිසුන්ගේ බඩවැල් තුළ සිටින ප්‍රතිරෝධීතාවන් දක්වන බැක්ටීරියාවන්ට වඩා වැඩි බැක්ටීරියාවන් සංඛ්‍යාවක් ආසියාතික රටවල්වල ජීවත් වන මිනිසුන්ගේ බඩවැල්වල සිටින බව හෙළිව ඇත්තේය.
යුරෝපා රටක සිට ආසියාතික රටකට සංචාරය සඳහා පැමිණෙන පුද්ගලයකුගේ බඩවැල් පරික්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ යුරෝපයේ සිට ආසියාතික රටවල් වෙත පැමිණෙන විට බඩවැල්හි සිටි ප්‍රතිරෝධී බැක්ටීරියාවන් ගහණයට වඩා වැඩි ගහණයක් යළි යුරෝපා රට වෙත යන එම පුද්ගලයාගේ බඩවැල් තුළ ජීවත් වන බව හෙළිව ඇත්තේය.
ලොව පුරා ජීවත් වන පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මේ වන විට බෝනොවන රෝගයන්ට ගොදුරුව ඇතිවාක් මෙන්ම නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධයන්ට ප්‍රතිරෝධීතාවක් ගොඩනගා ගැනීමේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී මරණයට පත් වීම නොවැළැක්විය හැකි හේතුවක් වීමේ මංසලකුණු අද වන විට මතුව ඇත්තේය.
මෙහි අවදානම එන්න එන්නම වැඩි වන්නේ ප්‍රතිජීවක ඖෂධයක් වෙළඳ‍පොළට නිකුත් කිරීම සඳහා විශාල ධනයක් හා පරිශ්‍රමයක් දැරීමට සිදුවන අතරම එක් ප්‍රතිජීවකයක් නිෂ්පාදනය සඳහා වසර 20ක් වැනි කාලයක් ගත වන්නේය. මෙතරම් කාලයක් තුළ විශාල පරිශ්‍රමයක් දරා නිෂ්පාදනය කරනු ලබන ඖෂධයෙන් විශාල ලාභයක් ගැනීමට නිෂ්පාදිත සමාගමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවීමත් තුළ මේ වන විට නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නතර කර ඇත්තේය.
මේ ගැන සිතීම රෝගී නොවන ඔබට භාරය.
ශ්‍රියානි විජේසිංහ

Popular posts from this blog

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.